Wednesday, April 9, 2014

දඟකාරි නුඹ!

කොහේදො සිට පැමිණ
ළඟපාත අහසට
සේන්දු වූ කළු වළාකුළු
මැද
තෙරපි තෙරපී හිඳ
හදිසියේ බිමට බට
නුඹ
නිසා
දොස් තබන ගතු කියන
හිත රිදුනු අය අතර
මම
නුඹෙන් ඔය වෑහෙන නැවුම් සිහිලැල්
සුවඳට පෙම් බැඳ සිපගන්න සැරසුණා හෙමිහිට
මල් පිපුණු ගහක් යට
හොඳට දිය පිරි
මඩවලක් ළඟ
අනේ නුඹ නම් හරිම දඟකාරියක්
වුනා නේදෝ ඉක්මන්
සිබින්නට පෙර මම
දෙනෝ දාහක් මැද
තුරුළුවූවා මට

නොහොබිනා ලෙස නුඹ . . . . .


Monday, March 31, 2014

සායම් සහ පැල්ලම්

මඩ පැල්ලම්
තෙල් පැල්ලම්
තීන්ත සහ දූවිලි පැල්ලම්
ආදී එකී මෙකී නොකී තවත් බොහෝ පැල්ලම් වලින්
සැරසුණු මගෙ සුදු ඩෙනිම
සහ
රතු සායම්
නිල් සායම්
කියුටෙක්ස් හා ලිප්ස්ටික් සායම් ආදි එකි මෙකි නොකි තවත් බොහෝ සායම්
වලින් හැඩවුනු මගෙ නොවූ මගෙ ඇය
කොයිතරම් නම් ප්‍රේමාන්විතද යන වග වැටහුනා පමනි

ඩෙනිම ඉරුනි!

ඇය විදෙස්ගතවුනි!

Sunday, March 30, 2014

සැවොම ගහනා බඩුව

ගිනිගහන අව්වට

හෙණගහන වැස්සට

ඉහලනා කුඩය

ඇත දමා මැස්ස උඩ

කඩ කඩා අටුව
හැමදාම හදනා පුටුව
තවමත් කැඩී ඇත
සාලෙ මැද
කාලෙකට එන ඕනනම් ගෙන්නන
සැවොම ගහනා බඩුව
කැන්දා ඇවිත් ඇත මෙවරද
හෝ හෝ ගෙනෙන් බොල මේ සැරෙත්
අර හිල් කුඩය ඉහලන්න මෙ බඩුවට

කෑ ගසා උස් හඬින් මෙලෙසින්

"බඩුව අපිට අපි බඩුවට"

සාදයි කියා සිතා

මේ සැරේවත් පුටුව

ප්‍රීතිගෙන

ඉහිලුවා නේද එකෙන්ම!

අර එකම එක හිල් කුඩය

අනේ තවමත් සාලෙමයි පුටුව

හැදිල නෑනේ අපෙ අටුව

කැඩිලනේ බo ආයි සැරයක්

කුඩේ අස්සෙන් පෙනේ බොල් අහස

ගිනිගහන අව්ව

හෙණගහන වැස්ස

කෝ බොලo අර බඩුව?

Monday, March 24, 2014

බල්ලා සහ කම්මලේ මම

කම්මලේ බල්ලා සහ මම හොඳින් අඳුරන්නෙමු

කලක සිට

ඌ අන් බල්ලන් සේ නොව

වැඩක් තිබුනද නොතිබුනද ගමන හෙමින්ය

එලෙසම ඌ හපා කන්නට පනින්නේ නැත හැමවිටම
බැරිම තැනකදි හපා කන්නට සිදුවුනොත් ඌ බුර බුරා ඉන්නේද නැත.
තවද ඌ පාඩුවේ සිටිනා බල්ලෙක් වන අතර කන්න දුන් අත හපන්නේ නැති කළගුණ දන්නා සිරා බල්ලෙකි.
දෙන දෙයක් කන්නේද වෙන දෙයක් බලා සිටීමට නොව
අන් අයට කරදර කිරීමට ඇති අකමැත්ත නිසාවෙනි.
මේ හැර ඌ අන් සෑමවිටම අන් අය යකඩ තලන දෙසද තැලෙන යකඩය දැක දැක උඩ පැන පැන තලන දෙසද උපේක්ශාවෙන් බලා සිටින්නේ
කලින් ඌ ඊට බිරූවත් ඉන් පලක් නොවු හෙයිනි.
අතිශයෝක්තියෙන් නොව අනෙක් බල්ලන් අතර ඌ වැදගත් බල්ලෙකි.
තවත් ඌ ගැන කතා කිරිමට බොහෝ දේ නැති අතර ඊට හේතුව ඌ simple බල්ලෙක් වීමයි.

"බල්ලා සහ කම්මලේ මම" මෙහි එන චරිත වන අතර මෙය තවත් එක බලු කතාවක් පමණි.
තවද අන් අයගේ යකඩ තලන නාදය කම්මලේ බල්ලාට බාධාවක් නොවන අතර අo අයට දිගටම තලාගෙන යා හැක.

ස්තූතියි!

Friday, March 21, 2014

ප්‍රදර්ශනයට තබා ඇත!

සිත්තරාවියක් ඇඳි සිත්තමක්

රාමු කළ ජීවිතේ කැන්වසය මත

හිතුමතේ ඇගෙ වේදනාවේ පින්සලෙන්

කුරුටු ගා කුරුටු ගා

නිමකලාය ඇය ඇගෙ නොවූ ඒ අකාරුණික සිත්තම. ,

දැන් එය තබා ඇත
ප්‍රදර්ශනයට!

ලෝකයේ ගැලරිය තුල එක අඳුරු මුල්ලක
පළමු පෙල සම්මාන වෙනුවට
ගැරහුමින් සන් කල විවේචන ලබන්නට . . . . .