Thursday, September 25, 2014

ගහටත් සීතල දැනෙනවා

වැස්ස

අළු පාට වටපිටාවකට පොද ගහන වෙලාවට
සීතලෙන් තෙමි තෙමී දුවගෙන ඇවිත්
ගහක් යට හරි නවතිනව
ඒ වහින වැස්සෙන් නොතෙමි ඉන්න

එතනදි වැස්ස පවා
ඒ ගහෙන් වැටුණු මල් පෙති වලට පාට වෙලා හරි ලස්සනට පේනව
ඒ ගහ යට කොයිතරම් සහනයක්ද කියල දැනෙනව

ටික වෙලාවකින්

වැස්ස පායල වටපිටාව ආයෙත් තිබුනු අතට හැරෙනව
ටිකක් සීතල තිබුනත් දැන් තෙමෙන්නෙ නෑ
ඉතින්
අර නැවතුනු අය ඒ ගහ අතෑරල
එයාල එයාලගෙ ගමන යනව

ඒත් ඒ අයට නොහිතුනාදෝ නොහැඟුනාදෝ
ඒ අයට වාගෙම
මේ ගහටත් සීතල දැනුන

ඒත් මේ ගහ ළඟ

තාම කවුරුත්
වැස්සෙන් පස්සෙ නම් නැවතුනේ නෑ . . . .

Monday, June 16, 2014

නිදහසක්

මැරුණු කුරුල්ලන්ගේ ආත්මයන්
පියාසර කරයි තවමත්
මුළු අහසම සිසාරා
පෙරටත් වඩා ඉහළින් . . . .

Friday, June 6, 2014

හෝන්තුව

බස් එකේ කෙල්ලකි වාඩිවී
දුහුල් වරළස සිහින් සිරුරැති
රාග නෙත් කිරණ දුටු දුටුන් මත් කරන
හිනාවකි ඈ මවන සැමගෙ මන කලතවන

ඈ හිඳින බස් පුටුව ඉතිර කොටසත් හිස්ය
ඒ අඩුව පුරවන්න හිතන උන් අපමණය
හැකිවිනම් නැගිටලා තමන් හිඳිනා තැනින්
ඒ මොහොත බසය තුල
කොල්ලො ලොවි ගහෙත් නැත

ඔහොම යන අතරමග ඒ අඩුව පුරවන්න
නැග ඇවිත් වාඩිගති
බොහෝ වියපත් කෙසඟ සිරුරැති මැහැල්ලක්

එතැන් සිට අර කෙල්ල
සිනා නැත බුම්ම්ගති හරිම අකමැත්තෙන්
"මේ මොන හෝන්තුවක්දැයි"
මුමුණමින් වාගේ හිතයටින්

කිසිත් මේ නොමදත් නොමතැකූ නොවැදගත්
අර මැහැල්ල
බණ පොතක් කියවයි නිවී සැනසිල්ලේ . . . .

Wednesday, May 28, 2014

හැමෝගෙම දහම

ගස් අපිට ඵල දෙන්නෙ කන්න
සත්තු නොමරා මස් වැද්දො වෙන් නැතුව
මහා ගුණ ඒ වගේ ඵල ඇතුලෙ ඇට නැත්නම් බීජ තියෙන්නෙ
තවත් ගස් හිටවන්න
මේකම තමයි සොබාදහමෙත් අපෙත් අතර ඇති ගණුදෙනුව
බොහෝ ආගම්,ජාතීන් අතර
සෑම සත්වයෙක්ම වෙනුවෙන් උපන් දහමයි
සොබාදහම . . . .

Monday, May 26, 2014

සීනිබෝල

සාරියේ නෙක පාට ලෝකෙටම මැච් කර
කසාදෙට දැන් තියා හොටෙල් එක තෝරන
ටීවි එක කන ගමන්
හින්දි කොරියන් පෙම් කතා ලුහුබදින
තමන් ගැන මේලොවක් නොදන්නා කොහෙද යන
සල්ලාල නළුවෙකුට පිස්සුවෙන් හූල්ලන
තාත්තගෙ මහන්සිය සිම් එකට දාගෙන
හෙට නිවෙන තරු වලට උමතුවෙන් text කරන
සීනිබෝල ලෝකෙක Toblerone , Ferrero Rocher
ආදරේ නාමයෙන්
ෆැන්ටසියෙ
ඉහළ රැඳි කොල්ලන්ට ලව් කරන
කෙල්ලන් අතර
නුඹ
කොහොම හමුවන්නද?
ඒ නිසයි
මම මේ ගොළු මුහුද අද්දර

Thursday, May 22, 2014

හා නැද්ද කියහන් !

උඹටත් මට වගේ

හීන ඇති කල් පැනපු
වට්ටි ඇති මල් කඩපු
කෙල්ලො ඇති බෑ කියපු
කොල්ලො ඇති වල බැහැපු

ක්ලාස් ඇති කට් කරපු
ඩෙනිම් ඇති පැච් දාපු
ලොවෙත් නැති ලව් කරපු
පෙමක් ඇති හිත බිදපු

හැමදාම කිස් කරපු
තෑගි ඇති විසිකරපු
විටින් විට රින්ග් කරපු
ලයින් ඇති කට් කරපු
හීත රෑ නිදි වරපු
රොකට් ඇති උඩ යවපු


හා නැද්ද කියහන්   o.O

Tuesday, May 20, 2014

හීනය දවල්

රෑ හීන හීතලට ගල්ගැසෙයි
ඒ නිසා
වරුවකට කරගැහුව ගෝනි ටික සෙටල් කර
දකින්නට ට්‍රයි කරන හීනය දවල්
යදම් දා බැඳගෙන එක කොනක්
බය නිසා යයි කියා ලිස්සලා

"පුතාලයි දුවලයි
උන් ගේ පැටවුනුයි
එක්ක කරලා සෙල්ලම්
හොඳට කා පොඩ්ඩක් නටා වෙරළේ
එකම එක දවසක්
එකම් එක හවසක්"

කොයි ඉතින්
මොන හීන
රත් කරන් පිටකොටුව
ඩබල් වෙන ගිනි අව්ව
එනවනේ ඉහ උඩට



Saturday, May 17, 2014

ඔව්! උඹත් ඉන්නව!

සින්දු කිව්වත් කවුරුවත් අහන් ඉන් නැතිනිසා
එක්කො අහන් ඉන්න බැරි නිසා
අනුන්ට නොවී කරදරයක්
දැන් වැඩිපුර අහනව
අනිත් අය කියනව
හැබැයි දැන් ඒ
ඇහෙන දේවල් ලියනව

පරිස්සමින් !
"ඒ" ඇතුලෙ උඹ ඉන්නව
ඔව්! උඹත් ඉන්නව!

Friday, May 16, 2014

එළිවැට

එළිවැටෙන් පැනගිය කවිය
නැවත අවුදින් කෑ ගසා හඩන්නට විය
.
.
.
.
ලියන්නට හිතක් නැති
කවියා නිහඬය

Thursday, May 8, 2014

පත්තරයක්! වනිතාව වෙනුවෙන්!

තිබුනි
පත්තරයක්
ලියූ වෙනුවෙන්
වනිතාව
හැරී පසුපිට
මේසයක් උඩ
අරන් නිකමට උඩින් පල්ලෙන්
කියවගෙන මo ගියා නිකමට
බොහොම රසවත්
හරිම හරවත්
කෑම ජාතිද
බීම ජාතිද
හදන හැටි සහ තවත් දේවල්
සමාජය ගැන
ඇති ගැටළු ගැන
උවමනා බව සැමට සමතැන
රටේ වෙන නෙක කාන්තා හින්සන
ගැන ලියා ඇත ඇතුල් පිටුවල
කොයිතරම් නම් අගනේද මෙය
කියා තිබ්බා යලි මේසෙ උඩ
හරවලා එය කවරයට මුල
හෝව්! පොඩ්ඩක්! මෙන්න! මේකේ!
පුoචි කලිසම
චූටි බැනියම ඇඳන් කෙල්ලෙක් ඉස්සරහ!

Wednesday, May 7, 2014

එක අඹ ගහක් යටදී . . . .

අනුන් කෑ අඹයක
ලෙල්ල මා පාගා
වැටී එතනම ඉඳිද්දී
වුනුදේට ඩිම් වී
උඹ කා රස බලා
කට්ට ඇඹුලැයි කීවෙහිය අඹයක්
උඹද කා උලාකා
රහක් නෑනේ මෙලෝ කීවෙහිය අඹයක්
ඔව්! උඹත් කා සූප්පා
පට්ට පටයැයි කීවෙහිය අඹයක්
අඹයක් තියා අඹ කෑල්ලක්වත්
නොකෑ මට
එක අඹ ගහක් යටදී . . . .

Tuesday, May 6, 2014

Pizza

නගරයේ එක් වීදියක
සුවිසාල නිවසක
පුoචි දරුවෙක්
කරයි ඇනවුම් pizza
තමාටම වෙන්වූ
පුoචි දුරකථනයෙන්

නොයවාම මහවෙලාවක්

නිවස ළඟ වීදියෙ
දවල් වේලට අඬන
පුoචි ළමයින් ළඟින්
ආවේය සුටුස් ගා
ගෙදරදොර ළඟටම pizza

Monday, May 5, 2014

කටු ගහක් අස්සෙන්

හිස වටේ පටලවා
අත වටේ බැඳගෙන
පෙරෙයිදා ණයට ගත්

සුසුම් පුරවා සීරුවට
නූලකින් ගැටගසා
උඩ යවන
බැලුම් අතරින් එකක් ගියැයි
කටු ගහක් අස්සෙන් . . . .

Thursday, May 1, 2014

මැයි දිනය! වර්ෂය : 2014

මැයි දිනය
දැන් රතු පාට නැත
පාට පාටය
ගෑනුළමෝ අඳින මල් ගවොමක් සේය,
විසිතුරුය.
ඒ දකින කම්කරු කොල්ලෝද දැන් එය වර්ණනා කරති,
ප්‍රීතියෙන්!
ඒ අතර "අපි"
තවම
රතු පාට
උරච්චි කරන්නෙමු ඊළඟ දිනයට
මැයි!

Saturday, April 19, 2014

නාගරික වඳුරාගේ නමස්කාරය

පෙම් කෙළින දූ කෙළින
අයවළුන් එන යනෙන
මත්වෙච්ච දුම පිරුණු
මහපාර අද්දරම

නව රිද්ම සoගීත
බයිස්කෝප් හඬ ඇහෙන
සින්දු මික්ස් කර කියන
තැන් වලින් වට වෙච්ච

කොත්තු හඬ පිළී ගඳ
චයිනීස් සුවඳ ඇති
රස නහර පිනා යන
සුළන් රැළි කරකැවෙන

තැනක මහ
ගාම්බීරව
වැඩ සිටින පන්සලක්
තුල රැදුනු ඒ
නිහතමානී නිහැඬියාවට
වේවා
මාගේ
නමස්කාරය!

Friday, April 18, 2014

සිත්තරාවී!


සිත්තරාවී!
ඒ සිනාවෙන් උඹ මා සොරාගෙන
මටම මාවත් සොයාගත
නොහැකි ලෙස
කොහේවත් නැති පාළු නිම්නෙක
සඟවලා තියලා

උඹ එදා ගත දැවටු සළුවේ
පාට මුහු කරලා අඳින ලද චිත්‍ර එල්ලාලා
මෙ නිම්නයේ
හැමතැනම
ඒවා මටම පෙන්වාලා
කොහෙදෝ තැනක හැන්ඟීලා අඳිනවා තවත් තව තවත්

නමුත් දැන්
ඒවයෙ
පාට බොඳ කරලා
අඳුරුපැහැ වර්ණ වැඩිවීලා . . . . .

Thursday, April 17, 2014

තරු දෙකත් මල් මිටක ටැටූ එක . . . . .

i ෆෝනයක් අතින් ගෙන
මනා ලෙස විසිතුරුව
සැරසිලා
උස මහත පොරකට
තුරුළු වී ඉතාමත්
ප්‍රීතියෙන්
යුවතියකි බසය තුල

තරු දෙකත් මල් මිටක ටැටූ එක
පෙනී නොපෙනී ඇත ඇගේ කෙටි සාය අද්දර
දහදියට තෙත් වෙලා මුදු සේද රතු සළුව විනිවිදව හැමතැනම
උණුහුමද රස්නයද අනේ මන්දා බැලූ බැල්මට
කතාවෙන් මුකුළුවෙන් මොනවදෝ ලොකු දෙයක් කියකියා
ඇසෙන නෑසෙන ලෙසට කිටිකිටියෙ හිරවෙලා ඉඳ
ඉතින්
පේන හැටියට
ඇගේ නැවතුම ළඟා විය ඔහුට නවතින්නට
ඒ සමඟ තවත් කවුදෝ කෙට්ටු උස මහත්මෙක් ගොඩ වුනිය බසයට
ඈ සමඟ අසුන්ගෙන කොහේදො යන්නට

තරු දෙකත් මල් මිටක ටැටූ එක . . . . .